චර පුරුෂ ජෝන් ඩොයිලිගේ දිනපොත | 5% SL Charity

in hive-133716 •  3 months ago  (edited)

දින පොතක් යනු තවෙකෙකුගේ ඇස නොගැටිය යුතු අතිශය පුද්ගලික ලියවිලි වුව ද මෙරට ඉතිහාසය වෙනස් කිරීමට බලපෑ පුද්ගලයකුගේ දින පොතක් පසුගියදා කියවන්නට ලැබිණි.

ඒ 1815 දී බ්‍රිතාන්‍ය කිරුළට උඩරට රාජධානිය ඈඳා ගැනීමෙහි ලා තිරයෙන් පසුපස වග කිව යුතු කාර්‍ය භාරයක් ඉටු කළ ජෝන් ඩොයිලි මහතාගේ (1772- 1822) පුද්ගලික දින සටහන්ය. එය නම් කර ඇත්තේ "චර පුරුෂ ඩොයිලිගේ දිනපොත" ලෙසය.

ඔහු 1810 - 1815 දක්වා කන්ද උඩරට පළාත්වල බ්‍රිතාන්‍ය රජයේ නේවාසික ප්‍රධාන බලධර ඒජන්ත සහ පළමු කොමසාරිස් ලෙස කටයුතු කර තිබේ. ඩොයිලි ලංකාවේ විසුවේ අප්‍රසිද්ධියේ නොවේ.එහෙත් ඔහුගේ මුළු චරිතය පුරා ද කළ කටයුතුවල ද ගැබ්ව ඇත්තේ කිසියම් ගුප්ත බවකි.

විශේෂත්වය ඔහු කරතොට නාහිමියන් වෙතින් සිංහල භාෂාව මැනවින් උගත්තෙකු වීමය. ගජමන් නෝනා සමඟ තරගයට කවි ලිවීමට ද ඔහු සමත් වීයැයි ජන ප්‍රවාදයේ එයි. බුලත් සැපීමට පවා පුරුදු වූ ඔහු සිංහලයන්ගේ විශ්වාසය දිනා ගත්තේය. පිළිමතලව්වේ, පුස්වැල්ලේ, ඇලපාත, එක්නැළිගොඩ, ලෙව්කේ, ඇහැලේපොළ, මීගස්තැන්නේ ආදී උඩරට රදලයන් හැම දෙනා සමඟ ඔහු හොඳ හිත වැඩි දියුණු කරගත්තේය.

වසර 1810 සැප්තැම්බර් 04 දා සිට 1815 අප්‍රේල් 23 වැනිදා තෙක් ඩොයිලි විසින් තැබූ පුද්ගලික දින සටහන් රාශියක් පොතෙහි අඩංගුය. කුමන හෝ හේතුවක් නිසා එම කාල පරාසය තුළ ඇතැම් දින සටහන්වල අඩුවක් පවතී.

ලංකාව ඉංග්‍රීසීන් යටතට පත්වීමට පෙර සිට තත්කාලීන සමාජයේ භාවිතා වූ මුදල් ඒකක, වෙළඳ ක්‍රම, චාරිත්‍ර වාරිත්‍ර, ‍රදලයන්, සංඝයාවහන්සේලා සහ සාමාන්‍ය ජනතාවගේ එදා ජීවන තොරතුරු, ඔවුන් නායක්කර් රජුගේ පාලනයට එරෙහිව කටයුතු කළ ආකාරය මේ පොතෙන් හෙළි වේ.මෙහි එන දින සටහන්වලින් උපුටන කිහිපයක් පමණක් පහත දක්වමි.

1810 ඔක්තෝබර් 2 වැනිදා

සැප්තැම්බර් 30 දාතම සහිතව හාපිටිගම කෝරළයේ මුදලිගෙන් තල්පතකි.
ඔත්තුකරුවෙකුගෙන් දැන ගත් පරිදි සතර කෝරළයේ දිසාවේ අලින් අල්ලන්නට සූදානම් වෙයි. මිනිසුන්ගේ වැඩවසම්වලට වඩා අයිතිවාසිකම් කියන ඉඩම් ප්‍රමාණයන් ගණන් ගැනෙයි.

1811 නොවැම්බර් 28 වැනිදා

දිනයක් සඳහන් නැති තල්පතක් එස්.ඩයස් මුදලි විසින් මට බාර දුන්නේය.හිස් ගසා දමන ලද දිසාවේලාගේ හා අදිකාරම්වරුන්ගේ වස්තුව අරමුදල් ලෙස එකතු කර පිත්තල භාජනවල දමා දැන් අළුත්වැඩියා කෙරෙමින් පවතින වැවේ සඟවා ඇත.මාලිගය දෙසට කාලතුවක්කු අටක් හරවා තිබේ.

1812 ජූනි 28 වැනිදා

රජු පැමිණෙන්නේ යුද්ධය ආරම්භ කරණු පිණිස හෙයින් කිසිවකු පසු නොබැසිය යුතු බවත්, පසු බසිමින් ආපසු යන ඕනෑම අයකුගේ හිස ගසා දමන බවත් දන්වන ප්‍රබල ආඥාවක් ප්‍රධානීන් සහ සාමාන්‍ය ජනතාව වෙත නිකුත් කර තිබේ.

1812 දෙසැම්බර් 29 වැනිදා

සතර කෝරළයේ කෙහෙල්පන්නල කළුවා යකැදුරා සහ වහුම්පුරයකු කොලුවෙකු ද සමඟ ජා මුහන්දිරම් විසින් එවා ඇති අතර කළුවා දැනුම් දෙයි.මිනිස්සු රජු පිළිබඳ කලකිරීමෙන්, අසහනයෙන් මෙන්ම බියෙන් ද පසුවෙති. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යකඩ දෝලියකගේ පුතුන් දෙදෙනා වූ මාම්පිටිය බණ්ඩාර මහත්මයලා අතරින් වැඩිමලා මීට දින අටකට හෝ දහයකට පෙර හිස ගසා මරා දැමිණි.ඒ කුමන අපරාධයක් සඳහා දැයි නොදනියි.නමුත් පොදු අදහස වී ඇත්තේ ඔහු රාජ්‍යය උදුරා ගනු ඇත යන සැකය නිසා බවය.

1813 ජනවාරි 14 වැනිදා

උඩුනුවර, අඹන්වල අප්පු පැමිණ දැනුම් දෙයි.
විශ්‍රාමිකව මාම්පිටියේ විසූ බංඩාර මහතා වසර තුන හතරකට පෙර මහනුවරට පැමිණියේ රජුගේ ප්‍රසාදය දිනාගන්නටය. ඔහුට මාළිගයේ දියවඩන නිලමේ තනතුර ලැබිණි. වැඩිකල් නොගොස් ඔහුට චෝදනා නැඟුණේ ඇල්ලේපොළ නිලමේ හා සම්බන්ධ වී සබරගමුවේ ඇහැළේපොල නිලමේට රහස්‍ය ලිපි ලිව්වා කියාය.

1815 පෙබරවාරි 16
හක්කෙටුවගල.

පැයකට පමණ පෙර අපට ඉදිරියෙන් වෙඩි ශබ්ද කිහිපයක් ඇසුණු අතර සතුටින් යුතුව මා පවසන්නේ රජුගේ ඥාතීන්ගෙන් කොටසක් හා යැපෙන්නන් ද සහිත මලබාර්වරුන් 17 දෙනෙකු සිරභාරයට ගෙන තිබූ ලුතිනන් මයිලියස්ගේ බලඇණිය හා මා එක් වූ බවය.රජු මැද මහනුවර සිටිතැයි පැවසෙයි.ඔහු පසු බැස ගොස් සිටින තැන සොයා ගන්නට වැසියන් අපට උපකාර කරණු ඇතැයි මම විශ්වාස කරමි.

1815 පෙබරවාරි 19 වැනිදා

රජුගේ ධාන්‍යගාරය, තෙල්දෙණිය.
කන්ද උඩරට රජතුමා දැන් අපේ අත් අඩංගුවට පත්ව සිටියි.දුම්බර වැසියන් හා අදිකාරම් විසින් යවනු ලැබූ සන්නද්ධ මහනුවර වැසියන් කිහිප දෙනෙකු එක්ව මැද මහනුවර සැතපුමක් ඔබ්බෙන් වූ ගල්ලැහැවත්තේ උඩුපිටිය ආරච්චිගේ නිවසේ සිටියදී අඳුර වැටෙන්නට පැයකට පමණ පෙර අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ බිසෝවරුන් දෙදෙනෙකු ද සමගිනි.

1815 මාර්තු 2 වැනිදා

පස්වරු 4ට ආණ්ඩුකාර උතුමාණන්, අදිකාරම්වරුන්, දිසාවේලා සහ උඩරට අනෙක් ප්‍රධානීන් හමුවට පැමිණියේය.උඩරට පළාත් පිළිබඳ ගිවිසුමකට එළඹීම සඳහා වූ පනත, නැතහොත් රජයේ ප්‍රකාශය (උඩරට ගිවිසුම) මගුල් මඩුවේදී කියවනු ලැබිණි. රාජකීය ධජය එසවිණි.රාජකීය ආචාර වෙඩිමුර පැවැත්විණි. හොඳ උණුසුම් දිනයක් හා පැහැපත් අහසකි.

1815 මාර්තු 13 වැනිදා

පස්වරු පහට ඇහැලේපොළ ආණ්ඩුකාරතුමා මුණගැසෙනු පිණිස පැමිණියේය.ඔහු ආණ්ඩුකාරතුමාට බාර දෙනු පිණිස රජතුමාගේ රන් හිස්වැස්ම, රන් කර පටිය, සැට්ටය, දණ හිසෙන් පහල සන්නාහ, වටිනා මැණික් ගල් එබ්බවූ විවිධ රන් ආභරණ, මධ්‍යයේ මරකත මිණි එබ්බවූ පපු පෙදෙස සරසන ආභරණ දෙකක්, විශාල රතු කැටයක් එබ්බවූ තවත් ඒ හා සමාන ආභරණයක්, මධ්‍යයේ අඟල් 1 1/10 ප්‍රමාණයේ රතු කැටයක් හා ඒ වටා විශාල දියමන්ති දහයක් එබ්බවූ ආභරණයක්,අඟල් 1 1/2 පමණ විශාල වෛරෝඩියක්,රන් කොපුවක බහාලූ රනින් කළ දක්ෂිණාවෘත ශංඛයක්,මුතු කැටයක් එබ්බවූ රන් වී කරළක් (වළපනේ හඳගනාවෙන් ලැබුණකි) ගෙන ආවේය. කුතුහලය වඩන එම දුර්ලභ වස්තූන් සියල්ල රාජසිංහ රජු කල පටන් පැවති ඒවා බව පැවසිණි. ආණ්ඩුකාරතුමා ඒවා අතරින් එකක් අදිකාරම්ට පිළිගැන්වූ නමුත් ඔහු එය බාරගැනීම ප්‍රතික්ෂේප කළේය.

1815 අප්‍රේල් 23 වැනිදා (අවසාන දින සටහනින්);

පූජනීය දන්ත ධාතූන් වහන්සේ කොත්මලේ පුහුල්පිටියේ සිට සිකුරාදා අටබාගේ වෙත ද ඊයේ හිඳගල වෙත ද වැඩමවා තිබිණි. කටුකැලේ මැලේ ජාතිකයන්ට මෙන්ම දැනට මහනුවර වෙසෙන මුහුදුබඩ පළාත්වල ජනයාට ද තම තමන්ගේ නිවාස ඉදිරිපිට හා වීදි සෝදා පිරිසිදු කරන ලෙස දන්වමින් විධාන නිකුත් කෙරිණි.කොට්ටල්බද්දේ නිලමේ ගබඩාවට අයත්ව තිබූ රිදී නැළියක් ගෙන ආවේය. ඒ සමගම රජුට අයත්ව තිබූ ලෝහ මුදු තිස් හයක් මූලාචාරියා ළඟ තිබී සොයා ගැනිණි.

අවිවාහකයකු ලෙස මෙරට විසි තුන් වසරක හුදෙකලා දිවියක් ගතකල ඩොයිලිගේ සේවය ඇගයීම් වස් 1821 දී බැරන් යන ගෞරව නාමයෙන් පුදන ලදී. ඉන් තෙවසරකට පසුව සිය දිවි නසා ගත් ඔහු අද නිහඬව මහනුවර උඩවත්ත කැලයේ පිහිටා ඇති බ්‍රිතාන්‍ය සුසාන භූමියේ දුඹුරු පැහැ ස්ථම්භයක් යට සදාකාලික නින්දට වැටී සිටී.

IMG_20220513_093529.jpg

IMG_20220513_093826.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

කාලයක් අරගෙන හරි මේක කියවන් ඕනෙ. මම මේක ගැන අහලා වත් තිබුණෙ නෑ.

යටගිය ඓතිහාසික තොරතුරු.